Sri lanka Province land boundary
මධ්‍යම පළාත හා සබරගමුව පළාත - සමනල කන්ද..
ලෝකයේ ආශ්චර්යමත් කඳු අතරින් අප රටෙහි පිහිටි සමනල කන්ද හෙවත් ශ්‍රීපාද කන්දට හිමිවන්නේ ප්‍රමුඛ ස්ථානයකි. එය ආගමික හා ඓතිහාසික ලෙසින්ද ඉමහත් වැදගත්කමක් දරයි. මෙම අසිරිමත් කන්ද දුර අතීතයේ සිටම ජාත්‍යන්තර ප්‍රසිද්ධියකට පත්ව තිබෙන බව නොරහසකි. මෙම කන්ද ශ්‍රී ලාංකික බෞද්ධ සැදැහැවතුන්ගේ මුදුන් මල්කඩයි. සුමන සමන් දෙවියන්ගේ ඇරයුමින් මෙරටට වැඩ වදාල බුදු රජාණන්වහන්සේ විසින් තමන් වහන්සේගේ වම් සිරිපතුලෙහි සලකුණක් මෙම කඳු සිරසෙහි පිහිටුවන ලදැයි මෙරට බෞද්ධයන් තුළ මහත් විශ්වාසයක් පවතී. මෙම කඳු සිරසෙහි ඇති පා සටහන ශිව දෙවියන්ගේ යන විශ්වාසයක් හින්දු බැතිමතුන් අතරේද එය ආදම්ගේ පා සලකුණකැයි යන ඇදහීමක් කතෝලික බැතිමතුන් අතරේද වෙති. සමනල කන්දේ උස මීටර් 2243කි. ශ්‍රීපාද කන්ද කඳු පන්තියක් ලෙස පිහිටා තිබේ. මෙහි ගැට නිල්ලකන්ද, බානසමනල, කුණුදිය පර්වතය යන උස් කඳු මුදුන් පිහිටා ඇත. ශ්‍රීපාද කන්ද පිහිටා ඇත්තේ රත්නපුර දිස්ත්‍රික්කයේය. ශ්‍රී ලංකාවේ ප්‍රධාන පෙළේ ගංගා හතර වන මහවැලි, කැලණි. කළු හා වලවේ යන ගංගා ආරම්භ වන්නේද සමනල කන්ද මුදුනෙනි. මෙම තොරතුරු වලට අමතරව මෙම සමනල කන්ද භාවිතා කර මධ්‍යම පළාත හා සබරගමුව පළාත වෙන් කර දැක්විමට ස්වාභාවික මායිමක් ලෙස යොදා ගෙන ඇත.
Comments
Post a Comment